Tuesday, April 11, 2023

පොඩ්ඩියේ

 











පදරචනය - ටිම්රාන් කීර්ති 

සංගීතය - සාදර බණ්ඩාර  

ගායනය - සාදර බණ්ඩාර 


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කොවුල් බිජු පුපුරන දාක
නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලනවද ගේම 

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම් 
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්

සතා කියා ඉඳහිටකදි ඇහුනාට 
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට 

දන්කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා 
ලොකු හාමුදුරුවෝ අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහෙ නයි කඳුලක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
මත්වුන බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඈත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා 



⭕⭕ මේ ගීතය අයියා සිය නංගිට, අම්මා ගැන කියමින් ගායනා කරන ගීතයක්.ඔවුන්ගේ මව රැකියාව ලෙස සිය ශරීරය ව්කිණීමේ නියැලෙනවා.

මේ ගැන පවුලේ බාල නැගෙනිය දැනගන්නේ අවුරුදු දවසේ. ඊට තරහින් ඉන්නා නංගි මාපිය වන්දනාව සිදු කරන නකතේදී අම්මට වැඳීම ප්‍රතික්ෂේප කරනවා.මේ නිසා අයියා අම්මා ගැන පහදලා දෙනවා.අම්මා කුමන රැකියාව කළත් අම්මාමයි.ඇගේ එම චරිතය වෙනස් වෙන්නෙ නෑ..අම්මට වැරදුනේ අපි නිසාමයි..ඇය අපිව ජීවත් කරවන්න අවශ්‍ය නිසා මේ රැකියාව තෝරාගත්තේ.බක්මහේ "කොවුල් බිජු පුපුරන දාක" කොවුලා බිත්තර දාන්නේ කපුටු කූඩුවේ...කපුටු අම්මා තමයි කොවුල් බිත්තර රකින්නේ.ඉතින් මේ අයියයි නංගියි දෙන්නත් එකම පියෙක්ගේ දරුවන් නෙවෙයි.

අපේ අම්මටත් පත්තිනි වගේ පියයුරු කඩා විසි කරලා ඉන්න තිබුණා.එහෙම උනානම් අද වනවිට අපි හාමතේ මැරිලා...අයියා නංගිගෙන් අහනවා අම්ම මෙතෙක් කල් කවපු කෑම විස වෙලාද අද මෙහෙම අම්මාට කරන්නෙ කියලා..අම්මට බනින්නෙ නැතුව අම්මාව මේ තැනට පත් කරපු සමාජයට (පඬිපුර) බනින්න කියලා.

සමාජය අපිට සතා කියලා කියනවා.ඒත් ඒ කතන්දර හදන කවුරුන් බෝසත් අය නෙවෙයි.අනුන්ගේ කතා අහන්නෙ නැතුව අම්මට වඳින්න කියලා අයියා කියනවා.

පන්සලේ හාමුදුරුවන්ටත් නොලැබෙන දානයක් මේ අම්මාගෙන් බලාපොරොත්තු වෙනවා.පන්සලේ පිළිම පවා එය දැකලා දුක් වෙනවා.

"රත්වුන යකඩ" සමාජයේ විවිධ ගැරහුම් වලට ලක්වන මිනිස්සුන්ට "ලෝකුරු" රත්තරන් තලන,නිෂ්පාදනය කරන කාන්තාවන් පවා තවත් පීඩා කරන්න උත්සාහ කරනවා.හැමෝම උත්සාහ කරන්නෙ අම්මට දොස් පවරන්න.එහෙම බනින පිරිමින් ම ඉටිමලක් දැක්කත් ඒ මලේ වහලා රොන් ගන්න හදනවා.මේ සමාජය නංගි දකිනවට වඩා වෙනස් පත්තිනි සලුවලින් පොරවන් ඉන්න අයගේ ඇගවල් වලත් ලොකු තුත්තිරි තියෙනවා.

හරිම විෂිශ්ඨ ගීතයක්.අපූරුවට ගායනා කරලා තියෙනවා.ඒ වගේම අපූරු පද පෙළක් සහිත ගීතයක්.⭕⭕

13 comments:

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...