පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි
සංගීතය - රොෂාන් ප්‍රනාන්දු
ගායනය - රොෂාන් ප්‍රනාන්දු
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැමදින
මලක නැවුම් සුවඳ පිරුණ සොඳුරු මදනළ
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම්පුරා තියෙන කඳුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
🌼🌼 පේරාදෙණිය සරසවිය හා බැඳුණු තවත් ගීතයක් තමයි මේ.මේ ගීතය නිර්මාණය වෙන්නට සරසවියේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක වෙනවා.
මේ සිදුවීම 2003 වර්ෂයේ වූ සිදුවීමක්.මේ කතාවට පාදක වන තරුණයාගේ ගම පොල්ගහවෙල.ඔහුගේ පෙම්වතියත් පොල්ගහවෙල ප්‍රදේශයේ තරුණියක්.ඔවුන් දෙදෙනා සරසවියට එන්නේ දුම්රියෙන්.ලංකාවේ දුම්රියපොළක් තියෙන එකම සරසවිය පේරාදෙණිය සරසවිය.ඉතින් ආදරයෙන් විශ්වවිද්‍යාලය තුළ මොවුන් කාලය ගත කරන අතරේ මේ තරුණිය වෙනත් තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නවා.මේ ගැන දැනගන්න පොල්ගහවෙල තරුණයා ගොඩක් දුකට පත්වෙනවා. ඒ දුක ඉවසීමට නොහැකි වූ තරුණයා සිය දිවි නසාගන්නවා.
හමුවෙන්න සමුගන්න සරසවි උයන දුම්රියපොළට එන පෙම්වතුන් අතර හා මල් වලින් පිරුණු ගස් මොවුන් එනකන් බලන් ඉන්නවා වගේ පෙම්වතාට දැනෙනවා.
තරුණයාට ඇහෙනවා මල් වල සුවඳ පිරුණු සුළඟ ඇවිත් ඔහුගෙන් අහනවා කෝ ඔබේ පෙම්වතිය ඇයි ඔබ අද තනිවම කියලා, ඒත් සඳක් පායලා බැස ගියා වගේ මේ තරුණිය ඔහුගෙන් වෙන්වෙලා ගිහින්.ඒ බව සරසවියේ ගස් වැල් දන්නේ නෑ.
අවසාන් මොහොතේ මේ තරුණයා හිතනවා තමන් ආදරය කළ පෙම්වතිය අවසාන වතාවට දැකගන්න ඇය සරසවියට පැමිණේවි කියලා.ඇය වෙනුවෙන් ඔහුගේ ඇස් වලට නැගුණු කඳුළු බිමට වැටෙන්න කලින් ඔහු සිය දිවි ගමන්ට සමුදෙන්න තීරණය කරනවා.
ඉතාම සංවේදී වූ මේ ගීතයට අපූරු හඬ දායකත්වය රොෂාන් ප්‍රනාන්දු ගායන ශිල්පියා ලබාදෙනවා.🌼🌼
