Wednesday, March 29, 2023

මන්ද පමා

 



















පදරචනය - මනුරංග විජේසේකර 

ගායනය - උමාරියා සිංහවංස 

විල් තෙර ඉන්න ඔයා
සඳ ගාව තියා 
පෙම් රස ඕන නිසා 
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක් 
අපි හිනාවුනා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා 
සඳ ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනේ ඉන්නයි ආසා

හද හඬා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක් 
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක් 
හිස සිදී ගියත් නුඹවම පැතුවා


🌻🌻 මේ ගීතය මෑත කාලයේ දී ගොඩක් ජනප්‍රිය වුන ගීතයක්.මෙය අතීත රජ සමයේ කතාවක් ලෙස හා මැදපෙරදිග කලාපීය සංගීතයක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා.

"විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා"මෙතැනදී රහස් ආදර කතාවක් ගැන කියවෙනවා..විල්තෙර කියලා මෙතෙන්දි අදහස් වෙන්නේ,රාගය ආසාව හා අනවසර ප්‍රේමය ගැන.අනවසර ප්‍රේමයකට වැඩි වෙලාවක් නෑ.ඒ නිසා අපිට ලැබෙන මේ පුංචි වෙලාවේ,ප්‍රේමය විඳ ගන්නේ ඉක්මනට එන්න කියනවා.

ඊට පස්සේ මේ දෙවැනි කොටසින් කියනවා,"තරු කඩා හැලෙන දවසක් අපි හිනා උනා වරුවක්"රාත්‍රී කාලයේ දී ඔවුන් ගොඩක් සන්තෝසයෙන් කාලය ගත කලා කියලා.ඒ සතුටින් ගතකළ අවස්ථාව පවතින්න කියලා ඇය අපේක්ෂා කරනවා.ඇය ඒ පිළිබඳව හීන දකිනවා.

මොවුන් දෙදෙනාගේ මේ අනවසර ප්‍රේමය නිසා ඔවුන්ට බොහෝ වෙලාවක් එකට එකට කාලය ගත කරන්න බැහැ.ඒ නිසා ඔබ දුරින් ඉන්න වෙලාවට ඇගේ හදවත කම්පා වෙනවා.මොවුන් දෙදෙනාගේ මේ රහසිගත ප්‍රේමය සියලු දෙනාටම රහසක් විදියට මොවුන් සිතුවත්,මේ පිළිබඳව ඇතැම් පුද්ගලයින් දැනගෙන සිටි බව මෙයින් අදහස් කරනවා.ඒ නිසාම හිස සිඳී ගියත් මම ඔබවම අපේක්ෂා කරනවා කියලා ඇය කියන්නේ🌻🌻.

Tuesday, March 28, 2023

බුදුහාමුදුරුවො වැඩියා වාගේ


 










පදරචනය හා සංගීතය - සංගීත් නිපුන් සනත් නන්දසිරි

ගායනය - මහාචාර්ය සරත් නන්දසිරි , මල්කාන්ති නන්දසිරි


බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලෙලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ

අනේ ස්වාමිනි මා ගෙලලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්නන්න එපා
ඇතිදා ලග හුන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා
නැතිදා ලඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා

නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා
මරණයෙ දොරකඩ සිට ඔබ පායුග සිඹ සමුගනිමි මෙමා
කෙළිලොල් කම් කෙළි මා සතු දිවි මග දැන් දැන් වේවි නිමා
මරණ බයක් නෑ අම්මා සිහිවෙයි

බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ
දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ
මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ


⭕⭕ මේ ගීතයේ පදරචනය,සංගීතය හා ගායනය සිදු කරන්නේ ඊයේ දිනයේ අප අතරින් වියෝ වුන සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා.ඔහු මේ ගීතය රචනා කරන්න පාදක කරගන්නේ සත්‍ය සිදුවීමක්.සනත් නන්දසිරි මහතා සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කමකදී බෝගම්බර සිරමැදිරියේ දී එදිනම එල්ලා මැරීමට කටයුතු කළ සිරකරුවෙක් සඳහා සිදුකළ එම ධර්ම දේශනාවේදී සිරකරුවා හා භික්ෂූන් වහන්සේ අතර ඇතිවූ සංවාදය තමයි මේ ගීතයට වස්තු බීජය උනේ.

සිරකරුවෙක්,තමන්ගේ ජීවිතේ අන්තිම දවසේ, අන්තිම මොහොතේ,තමා ඉදිරියට ධර්මය දේශනා කරන්න වඩින භික්ෂුන් වහන්සේ දැකලා,ලොවුතුරා බුදුන් වැඩිය වගේ හැඟීමක් දැනෙනවා.සිරකරුවා භික්ෂුවගෙන් අහනවා දුක හිතිලද හිර ගෙදරට වැඩියේ කියලා.ඒ වඩින මගදී සිරකරුගේ අම්මා දොරටුව අසල හිටියද කියලා අහනවා.මේ මරණාසන්න මොහොතේ ඔහු අසල ඉන්නෙ අම්මා සහ භික්ෂූන් වහන්සේ විතරයි.

"අනේ සුවාමිනි මා ගෙලලන්නට ඉඩනම් දෙන්න එපා"මැරයෙක්,චන්ඩියෙක්,ඝාතකයෙක් මේ ඕනෑම කෙනෙක් මරණයට බයයි.මේ සිරකරුත් තමන්ගේ අන්තිම විනාඩි ගණන තුළත් ඉල්ලන්නේ තමාව මරණයෙන් බේරගන්න කියල,නීතියෙන් මරණයට නියම වෙච්ච කිසිම කෙනෙක් බේරගන්න බෑ.ඒවා තේරුම් ගන්න මොහු කියනවා ඔහුගේ මලකඳ අම්මාට පෙන්නන්න එපා කියලා.අම්මා කෙනෙකුට ඒ දුක දරාගන්න අමාරුයි.ඒ වගේම ඔහු ප්‍රාර්ථනා කරනවා ඇතිදා පමණක් ළඟ හිටිය අවස්ථාවාදී යහළුවන් සසරෙ කවදාවත් හම්මු වෙන්න එපා කියලා.

මීළඟ කොටසින් වැරදි කිරීමේ ප්‍රතිඵල කියනවා.නොදැන කළත් දැනගෙන කළත් වරද වරදක්.මීට පෙර ඔහු සිහින මවමින් සිටු ඒ කෙලිලොල් ජීවිතයට සමුදීලා මරණය කරා යන ගමනේදී ඔහුට සිහිවෙන්නෙ ඔහුගේ ආදරණීය මෑණියන්ව.ඇති දා මෙන්ම නැති දා එක ලෙස ළඟින් හිටියේ ඇය පමණයි.

අවසානයේ දී මේ සිරකරුගේ මව සිරගෙට ඇවිල්ලා කියන්නේ දුර්ජන පුද්ගලයින් ඇසුරු කළත්,අනුන්ගේ ප්‍රාණය නැති කළත්,ඔබ මගේ පුතුමයි කියලා.

ඉතින් මේ විදිහට හරිම අපූරු ඒ වගේම බොහොම හැඟීම්බර ලස්සන ගීතයක් අද දවසේ විචාර කරන්න ලැබුණා.⭕⭕

Monday, March 27, 2023

සුළඟ නුඹ වගේ

 









පදරචනය - යමුනා මාලනි 

සංගීතය - ගුණදාස කපුගේ 

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි 

සිත හැඳිනුවෙත් ඔබයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන්
සොය සොය රිදෙව්වෙත් නුබයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි 
පුදුමයක් තමයි


🌺🌺 මේ ගීතයේ කාන්තාව සුළඟට උපමා කරලා තියෙනවා.සුළඟ ඇවිත් ඇඟේ දැවටිලා ගතට සිසිලක් ලබා දීලා ආපසු යනවා.ඔහු කියන්නට උත්සාහ කරන්නෙ ඔබ සුළඟ වගේ ඇවිල්ලා මගේ ආදරය අරගෙන යන්න හැදුවත්,වැස්සක් වගේ ඇවිත් මගේ හදවත තෙමලා දැමුවත් ඔහුගේ හිතේ තියෙන ආදරය සේදිලා යන්නේ නෑ කියලා.

කෙනෙක් තමන්ගේ හිත ගැන හොදින් දැනගෙන ඒ පුද්ගලයා ගැන නිරතුරුව හොයා බලා කටයුතු කරද්දි ඒ පුද්ගලයා කෙරෙහි ආදරයක් ඇතිවෙන්න පුලුවන්.ඒ විදියට මේ තරුණයාගේ සිත සැනසූ කාන්තාව ඔහුගේ හිත අරන් යාම ගැන ඔහු පුදුම වෙන්නෙ නෑ.ඒ ආදරය තවත් වැඩි වෙනවා.

මේ පෙම්වතිය දැන් ඔහු ළඟ නෑ.ඔහුගේ හිත තනි කරලා ඇය යන්න ගිහින්.ඇය ඔහුගේ හිතේ තියෙන සියුම් තැන් සොයමින් ඔහුට රිද්දුවත්,තවමත් ඔහුට ඇයව සිතින් මකා දමන්න බෑ.එතරම් ආදරයා දුන්නු නිසා ඇයව තවමත් අමතක නොවීම ඔහුට පුදුමයක් නොවෙයි..🌺🌺

ළඳුනේ



පදරචනය - රණ්බන්ඩා සෙනෙවිරත්න සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනය - අමරසිරි පීරිස් 


ළඳුනේ ළඳුනේ
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ 
දෙනෝ දහක් අත ගත්තද 
සැමියෙකු නැති ළඳුනේ 
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ 

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පියමං වන 
ඔබේ දෑස දැක ගත්තෙමි 
සැඳෑ කලෙක ළඳුනේ 

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන 
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට 
දෝස විඳින ළඳුනේ 
අඳුරේ පව් කරන දනා එළිය රවන ළඳුනේ 
ළැම පමණක් ලොවට පෙනෙන 
ළය නොපෙනෙන ළඳුනේ 
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ 


🌺🌺රණ්බන්ඩා සෙනෙවිරත්න මහතා දැකපු සිදුවීමක් ඇසුරින් මේ ගීතය නිර්මාණය වුනා.කාන්තාවක් ඇගේ රැකියාවට යාමට පෙර දළදා වදින්න යනවා.මේ කන්තාවගේ රැකියාව තමයි ගණිකා වෘත්තීය.

"ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ" ඔහු සැඳෑ කාලයේ ඇයව තනිවම දකිනවා."දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ" මේ කාන්තාව පිරිමින් දෙනෝ දාහක් ඇසුරු කරනවා.ඒ නිසා ඇයට ස්ථිර සැමියෙක් නෑ.ඇයට නෑකමක් කියන්න කෙනෙක් නෑ..එයට හේතු වෙන්නෙ මේ කාන්තාව වීදි සරන කාන්තාවක් නිසා.ඇයගේ රැකියාව නිසා ඇයව සමාජය පිළිගන්නේ නෑ.

තෙල් මල් රැගෙන මේ කාන්තාව බුදුන් පුදන්න යනවා.ඇය බුදුන් දැකලා නිවන් යන්න පාර හොයන කාන්තාවක්.නමුත් ඇය තවත් එක පටාචාරාවක්,කිසාගෝතමියක්.පටාචාරා හා කිසාගෝතමිය ඔවුන්ගේ සියලු වස්තූන් විනාශ වීම නිසා අවසානයේ සිහිවිකල් වෙලා බුදුන් සොයා ගියා.මේ කාන්තාවට කවුරුත් නෑකමක් නොකියන නිසා ඇගේ දුක කියන්නේ බුදුන්වහන්සේට.

"පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ" මේ කාන්තාවට මේ ඉරණම අත් වුනේ පිරිමින් නිසා.පිරිමින් කාන්තාවන් සොයා එනවා,නමුත් සමාජය දොස් පවරන්නෙ කාන්තාවට."අඳුරේ පව් කරන දනා එළිය රවන ළඳුනේ" ඇය රාත්‍රියේ රැකියාවේ නිරත වෙනවා..නමුත් ඇය මේ සමාජයට පිරිමින්ට පිටුපාලා කාලය ගත කරනවා.."ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ" සමාජය දකින්නේ පිට ස්වරූපය පමණයි..මේ තත්ත්වයට පතවුන කාන්තාවගේ හදවත මේ සමජයට,දොස් කියන අනෙක් කිසිදු කෙනෙකුට පේන්නෙ නෑ.ඇය සිය ශරීරය විකිණීමේ රැකියාව කළත් ඇයත් මේ සමාජයේ රැකියාවක් කරන කාන්තාවක්."කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ" පිරිමින් කාන්තාවන් සොයා යාම සිදු කරන නිසා තමයි ඇයව සමාජය විසින් වරදකාරියක් බවට පත් කළේ.
🌺🌺
 

Sunday, March 26, 2023

සුදු නෙළුම කෝ

 








පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව 

ගායනය - පණ්ඩිත්  ඩබ්. ඩී. අමරදේව 

 

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන්පෝය දා පාලොස්වකේ
මල් නෙළා විකුණූ පන්සලේ

වැවට කළුවර යා වුණා
සංසාර දුක බෝ වුණා 
නෙළුම් මල් ටික ඉහිරුණා
එහා ඉවුරට පාවුණා 

සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා

🌼🌼මේ ගීතය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ ගීතයක්.

අපේ රටේ ප්‍රවීණ ගීත රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහයන් 1981 වසරෙදි මොණරාගල ඔක්කම්පිටිය කියන දුෂ්කර ගමේ ගුරු සේවයේ නිරත වෙලා ඉන්න කාලයේ දිනපතා පාසල් එන අවුරුදු එකොළහක් වයසැති දියණියක් හිටියා.මේ දියණිය පාසල් වෙලාවෙන් පස්සෙ ගමේ තිබුණ වැවට ගිහින් මල් නෙළලා ඒවා පන්සල් එන අයට විකුණලා තමයි ජීවිකාව ගෙන ගියේ.

එක දවසක් රත්න ශ්‍රී ගුරුතුමා ඒ දියණියගේ පන්ති කාමරයට යනවිට ඇය පන්තිකාමරයේ නොසිටිය නිසා ඇය ගැන විමසද්දී දුක්බර ආරංචියක් ලැබෙනවා.ඒ තමයි ඇයට ජීවිකාව ගෙන යාමට මල් ලබාදුන්න වැව විසින් ම ඇයගේ ජීවිතය ඩැහගෙනෙ ගිහින් කියලා.මල් කඩන්න ගිය දියණියගේ මළ සිරුර වැවේ පාවෙමින් තිබිල තමයි හමුවෙන්නේ.මේ දියණිය වෙනුවෙන් තමයි මේ ගීතය ලියවුනේ.

මේ දියණියගේ අවමංගල කටයුතු සිදුවුනේ ඔක්කම්පිටිය දෙමැටමල් විහාරය ආසන්නයේ වැවක් ළඟ.මේ දෙමැටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය ඇතිවූ කාලයේ සද්ධාතිස්ස කුමාරයා හැංගුන පන්සල.

නමුත් ඔහු මේ ගීතයට භාවිතා කලේ ඉතාම ප්‍රසිද්ධ වැවක් හා නගරයක්.ඒ තමයි සොරබොර වැව සොරබොරවැව මහියංගන නගරය.ඒ විදියට තමයි මේ සුදු නෙළුම කෝ සොරබොර වැවේ ගීතය නිර්මාණය වුණේ.මේ ගීතය ඉතාම හැඟීම්බර ගීතයක්.ඒ වගේමයි මේ ගීතයට හඬ මුසු කළ අමරදේවයන් ඉතාමත් අලංකාරව මේ ගීතය ගායනා කරනවා.🌼🌼





Friday, March 24, 2023

වක්කඩ ළඟ
















පදරචනය - මහගම සේකර 

සංගීතය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව 

ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව 

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට 
තිත්ත පැටවු උඩ පැන නැටුවා 
වැස්ස වහින්නට ඉස්සර අහසේ 
වළාකුලෙන් විදුලිය කෙටුවා 

කිව්වට වස් නැත නිල් නිල් පාටින් 
කටරොළු මල් වැට වට කෙරුවා 
තුන් දවසක් අමනාපෙන් සිටි කළු 
නෝක්කාඩු බැල්මෙන් බැලුවා 

ගල මතුපිට මල පිපෙන්න 
මල වට බමරිදු නටන්න 
වැහි වැහැලා ගඟ පිරෙන්න 
ගඟ උතුරා හිත පිරෙන්න 

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ 
හිනාවෙයන් කළු හිනාවෙයන් 
වෙලා මගේ හිත ඉනාවකින් තව 
හිනාවෙයන් කළු හිනාවෙයන් 

🍁🍁සොබාදහම උපයෝගී කරගෙන විවාහ ජීවිතය ගැන කතා කරන අපූරු ගීතයක් තමයි මේ ගීතය.

කුඹුරක ලියද්දක පිරෙන වැඩි වතුර අයින් කරන්න වගේම,ලියද්දකට වතුර පුරවන්නත් වක්කඩ ඕනි වෙනවා.මේ විදිහට පරිසරය ගැන වර්ණනා කරල තමයි රචකයා මේ ගීතයට පිවිසෙන්නේ.නමුත් මේ ගීතය පරිසරය ගැන සිදු කරන වර්ණනාවක් නෙවෙයි.

"කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා'' මේ 'කටරොළු මල' උපමා කරලා තියෙන්නේ කාන්තාවකගේ ලිංගික අවයවයට. වක්කඩ කියන්නේ වැඩි වතුර ගලාගෙන යන ස්ථානය,එය උපමා කරන්නේ කාන්තාවකගේ ඔසප් වීමේ ක්‍රියාවලියට."තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝක්කාඩු බැල්මෙන් බැලුවා"සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් වීමේ ක්‍රියාවලියට දින තුනක් පමණ ගත වෙනවා.ඒ තුන් දවස ගෙගෙන තුරු රචකයා බලා සිටින ආකාරය තමයි මෙයින් කියන්නේ.

"ගල මතුපිට මල පිපෙන්න මල වට බමරිදු නටන්න"ගීතයේ මේ අවස්ථාව වෙනකොට සංගීතය ඉතාම වේගවත්ව වාදනය වෙනවා.රචකයා එයින් ඉඟි කරන්නේ මේ අවස්ථාවේදී මොවුන් දෙදෙනා සමඟ ලිංගික ක්‍රියාවලිය සිදුකරන බව.එයින් ඔවුන් සතුටට පත්වන බව.

මේ කාන්තාව සතුටට පත්වෙලා ඉන්න නිසා ඇය ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනා වෙනවා කියලා රචකයා කියනවා.එහි විදිහට මගේ හිත තවත් වශී කරමින් හිනාවෙයන් කළු කියලා කාන්තාවට කියනවා.🍁🍁

Thursday, March 23, 2023

හෙමින් සැරේ පියා විදා


 







පදරචනය - ධර්මසේන පතිරාජ 

සංගීතය - ප්‍රේමසිරි කේමදාස 

ගායනය - ටී. එම්. ජයරත්න,සුනිලා අබේසේකර 


හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන් 
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින 

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ


🌺🌺මේ ගීතය 1980 දි තිරගත වුන හංස විලක් චිත්‍රපටයේ එන ගීතයක්.අනියම් සබඳතාවයක් හා එයින් ඇතිවන මානසික පීඩනයක් ගැන මේ චිත්‍රපටයේ විස්තර කරනවා.මේ ගීතයේ විස්තර වන්නෙත් අනියම් සබඳතාවයක් ගැන.

"හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්" මේ විදිහට පටන් අරන් විස්තර කරන්නේ දෙදෙනෙකුගේ අනියම් සම්බන්ධතාවයක්.මේ පුද්ගලයින් දෙදෙනා හැඟීම් වලට වහල් වීම නිසා ඔවුන්ගේ සිතුම් කුරුල්ලන් වගේ පලා ඇවිල්ලා මේ විදියට අනියම් ඇසුරක් පවත්වනවා.

පුරුෂයා කාන්තාව මලක් වගේ දකිනවා.සිනිදු ,සුකොමල,රුවින් සැරසිලා ඉන්න ලස්සන මලක් වගේ ඔහු ඇයව දකිනවා.ඒ වගේම කාන්තාව නීල ඉඳුවර දියෙන් පිරුණු විලක් වගේ පිරිසිදු වස්තුවක් වගේ දකිනවා..ඒ විදියට කාන්තාවකගේ ලක්ෂණ මේ කොටසින් විස්තර කෙරෙනවා.ඒ වගේ ලස්සන කාන්තාවක් තමයි මේ විදියට අනියම් ඇසුරක නියැලෙන්නේ කියලා මේ කොටසින් පෙන්වනවා.

අවසාන කොටසින් පෙන්වා දෙන්නේ සුවඳ විලවුන් වලින් ගත සරසාගෙන එන කාන්තාව දැකලා මේ පුරුෂයාගේ හැගීම් උද්දීපනය වෙනවා."සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා පවුරු සිරි යහනේ" මොවුන් දෙදෙනාට මේ සබඳකම පවත්වාගෙන යන්න බෑ,ඔවුන් දෙදෙනාටම නීත්‍යානුකූල විවාහය නිසා.ඒ බාධක බිදදාලා ඔවුන් එකතු වෙනවා..

මේ අපූරු ගීතය අපේ රටේ විශිෂ්ට සංගීතවේදියෙක් වුන ප්‍රේමසිරි කේමදාසයන් විසින් සංගීතවත් කරපු රසවත් ගීතයක්...🌺🌺

Wednesday, March 22, 2023

කුවේණියේ











පදරචනය - චන්ද්‍රසේන තලංගම  

සංගීතය - චරිත අත්තලගේ  

ගායනය - රිද්ම වීරවර්ධන,දිනූපා කෝදාගොඩ 


කිවේණියේ මා
කුවේණියේ මම 
තම්මන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම 
ආලේ සොයා එනවා

සලුව අරන් ගෙට 
පලයං කුමරිය
නැවක නැගී මරු 
එනවා කුමරිය

වියූ සළුව නොම හැරයන් කුවේණියේ 
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ 
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ 
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ 

දිරිදුන් නුඹේ ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙකලා හිඳිමී මෙමා


🌻🌻මේ ගීතයෙන් කියවෙන්නෙ සාම්ප්‍රදායික විජය කුවේණි කතාව නෙමෙයි. 

විවිධාකාර පුද්ගලයින් කාන්තාවකගේ ජීවිතයට ඇතුළුවෙනවා.විවිධ ආල කතා කියමින්,තරුණියනෙගේ සිත් වසඟයට පත් කරගන්න හදනවා.ඒ නිසා ඒ කතා වලට,ඒ පුද්ගලයින්ට රැවටෙන්නෙ නැතුව"සලුව අරන් ගෙට පලයං කුමරිය" තරුණියකගේ වටිනාකම පරිස්සම් කරගෙන නිසි වයස එනකං ඉන්න කියනවා."නැවක නැගී මරු එනවා කුමරිය"නැවක් වගේ පිටින් ලස්සනට තිබුනත් ප්‍රේමය විදියට ඒ එන්නෙ විනාශයක් කියලා තමයි මෙ කියන්නේ.

"වියූ සළුව නොම හැරයන් කුවේණියේ" කාන්තාව මෙතෙක් කාලයක් ආරක්ෂා කරපු වරිතය රැකගන්න කියලා තරුණියට උපදෙස් දෙනවා.එහෙම වුනේ නැත්නම් සමාජයයෙන් දොස් පවරන්නේ කාන්තාවට."කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ"සමාජය බලාගෙන ඉන්නෙ කාන්තාව තමන්ගේ වරිතය කිලිටි කරගන්නකං..මඩ තවරන්න. 

"දිරිදුන් නුඹේ ආලේ නිසා බොහෝ විපතක් වෙනා" අවසානයේ කාන්තාව කියනවා.තරුණයින් ඇයට කොපමණ ආරාධනා කළත්,ඇය නිසි කාලය පැමිණෙන තුරු ආදරය කරන්න පටන් ගන්නෙ නෑ.ඒකෙන් විපතක් සිදුවෙන්න පුළුවන්,ඒ නිසා අනාගතයේ දවසක හමුවෙනකං ආලය පසෙකලා ඉන්නවා කියලා...🌻🌻

Tuesday, March 21, 2023

සෝබාව දේ

 














පදරචනය - ලූෂන් බුලත්සිංහල 

සංගීතය - විශාරද ගුණදාස කපුගේ 

ගායනය - යූ. ආරියවිමල් , ගාමිණී සමරකෝන් 


සෝබාව දේ මෙපුර සිරි විසිතුරු 
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ අහස සූරන මැදුරු

පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් මැද 
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන 
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ

ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිබින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ 
එලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

සැණකෙළි පුරාහඳේ නිකිනි අවන්හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා
සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපන්නේ


🌺🌺මේ ගීතය ලංකාවේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් වන තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ එන ගීතයක්..මේ නාට්‍ය රෝම නාට්‍ය රචක ප්ලෝටස්ගේ නාට්‍යයක් පාදක කරගනිමින් තමයි ප්‍රතිනිර්මාණය වුනේ.බොහොම පොඩි කාලයේ ඉදන්ම වෙන්වුන නිවුන් සහෝදරයන් දෙදෙනෙක්ගේ කතාවක් තමයි මේ නාට්‍ය.එහිදී එක නිවුන් සහෝදරයෙක් ආදරය කරනවා අභිසාරිකාවකට(ගණිකාවක්).ඉන් අනතුරුව මේ අභිසාරිකාව මේ අනෙක් නිවුන් සහෝදරයා සමඟ ආදරයක් ඇති කරගන්නවා.ඒ පිළිබඳව මේ නාටකය පුරා විහිදිලා තියෙනවා.

මේ ගීතයෙන් කියන්නේ එක සහෝදරයෙක් සිංගප්පූරුවට යනවා.මොහු ඒ රටේ තියෙන ලස්සන ලස්සන දේවල් දැකලා පුදුම වෙනවා.ඒ ගැන කෙරෙන විස්තරයක් තමයි මේ ගීතය.

මේ තරුණයා අලුත් රටකට ගිහින් ඒ රටේ සුන්දරත්වය විස්තර කරනවා."සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ" ඒ රට හරිම ලස්සනයි,ඒ වගේම ලස්සන පාරවල් තියෙනවා,අහස උසට හැදුන විශාල ගොඩනැගිලි මේ රටේ තියෙනවා කියලා කියනවා.

"පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් මැද දෙව්ලොව නැති සැප විකුණන්න නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්නේ"මේ කියන්නෙ ඒ රටවල පාර දෙපැත්තේ සල්ලි දීලා මිලදී ගන්න පුළුවන් කාන්තාවන් ඉන්නවා කියලා.ඒ වගේම මිනිස්සු තමන්ට කැමති දේවල් මිලදී ගන්න සල්ලි ගොඩක් වියදම් කරන පුද්ගලයින් ඉන්නවා.ඒත් ඔවුන් එයින් සෑහීමකට පත්වෙන්නෙ නෑ.

"ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුණ සිබින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා"මේ කියන්නේ කාන්තාවන් ඉන්නේ මුහුණ පුරා විවිධ වූ ආලේපන තවරගෙන,ඔවුන් ඉතා කෙටි දුහුල් ඇඳුම් ඇඳලා ඉන්නේ.ඒ ඇඳුම් වලට කාන්තාවන්ගේ නාරිලතා මල (ඇඳුමෙන් වසා සිටිය යුතු අවයව)පවා ඉස්මතු වෙලා පේනවා.ඒ කාන්තාවන් ඒ විදියට හැසිරෙන නිසා වැසුනු දොරවල් විවර වෙනවා.ඒ නිසා රහසේ සිදු අරන කටයුතු මේ රටේ එලිපිට සිදුවෙනවා.විදේශීය රටවල මේ සිදුවීම සාමාන්‍ය දෙයක් නිසා කවුරුන් ඒ ගැන මැසිවිලි කියන්නේ නෑ.

"සැනකිලි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා" මුලු නගරයම සැණකෙළියක් වගේ.ලස්සනට,ප්‍රබෝධමත් ව තියෙනවා හඳ පායලා තියෙන දවසක් වගේ.මේ රටේ හැමතැනම මිනිස්සු ප්‍රීතියෙන් ජීවත්වෙනවා කියලා තමයි කියන්න උත්සාහ කරන්නෙ.කාගෙත් හිත වල් දුක් නිවන ගීත ඇහෙනවා...මේ කියන්නේ රාත්‍රි සාද පවත්වන ස්ථාන ගැන.ඒ ශාලා වල මධුවිත පුරවාගත් බඳුන් ගේන කාන්තාවන් දැක්කම මධුවිතින් මත්වුන රකුසු ඇස්වල පාලුව නතිවෙන්වා කියලා මේ ගීතයෙන විස්තර වෙනවා. 

අපේ රටෙන් වෙනත් රටකට ගිය තරුණයින් දෙදෙනෙක් ඒ රටේ දැකපු සුන්දරත්වය පිළිබඳව මේ ගීතය පුරාවට විස්තර කෙරුණා.🌺🌺

Monday, March 20, 2023

සඳ කුමාරි මගෙ මනාලි

 








පදරචනය - ධම්මික බණ්ඩාර 

සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා 

ගායනය - චන්දන ලියනආරච්චි


සඳ කුමාරි මගෙ මනාලි 
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි 

මං කවුළුව හැර තබාවි
ඇය සේළ පලස එලාවි
පිනි බිංදු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි 

කළු වළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි
මට හොදටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි 
සඳ කුමාරි මගෙ මනාලි 

🌺🌺මෙහිදී ඔහු සඳ කුමාරි මගෙ මනාලි කියලා අදහස් කරන්නේ රාත්‍රියේ පායන හඳ ඔහු මනාලියක් වගේ දකිනවා,ඉන් අනතුරුව කාන්තාවකගේ ක්‍රියාවන් ඔහුගේ හිතේ මැවෙන්න පටන් ගන්නවා.කාන්තාව ඇගේ කොණ්ඩය මුදාහරින ආකාරය,ඔහුගේ කවුළුව අසලට පැමිණ ඔහුට පැමිණීමට ආරාධනා කරන ආකාරය ඔහු මනසින් දකිනවා.

දෙවෙනි පද පෙළින් කියනව,"මං කවුළුව හැර තබාවි ඇය සේල පලස එලාවි"ඔහු තවදුරටත් සිහිනෙන් දකිනවා ඔහුගේ කවුළුව තුළින් හඳ එළිය ඔහුගේ යහනට පතිත වන ආකාරය,ඒ සිදුවීම ඔහු දකින්නේ කාන්තාව ඔහුව ඇය අසලට ගෙන්වා ගැනීමට පලසක් එලනවා වගේ..මේ සිදුවීම සිහිනයක් වුවත් ඔහු සිතන්නෙ එය අනාගතයේ දී සැබෑවටම සිදුවන දෙයක් ලෙසටයි..ඒ නිසා ඔහු අනාගත කාල වැකි භාවිතා කරලා තියෙනවා.

ඔහු තවමත් මේ මනෝ ලොවේ කාලය ගතකරන වෙලාවේ එය කෙමෙන් බිඳෙන්න පටන් ගන්නවා."කළු වළාකුලක් ඇදේවි සඳ මුහුණ මුවා කරාවි මට හොදටම දුක හිතේවි රැය එළි වෙනකන් හඬාවි"මොහුගේ මේ දකින්නේ ඔහු ආලය කරන හෝ ආලය ලබා දීමට අපේක්ෂා කරන තරුණිය පිළිබඳවයි.එහිදී ව්ම තරුණිය ඔහුට ආදරය කරාවිද, යන කුතුහලය සිතට නැගෙනවා.ඇය ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කළහොත් ඉන් අනතුරුව ඔහුට ගොඩක් දුක හිතේවි,ඔහු ඉතිරි කාලය දුකින් ගත කරයි කියලා මේ පුද්ගලයා කියනවා.

ඒ ආකාරයට ලස්සන ගීතයක් රසවිඳීමේ හැකියාව ලැබුනා.🌺🌺

මගේ පුංචි රෝස මලේ

 











පදරචනය - ධම්මික බණ්ඩාර 

සංගීතය - ඩැනිස්ටන් පෙරේරා 

ගායනය - අමරසිරි පීරිස් 

මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත් නොදකින කුමරා
නුඹ හීනෙන් වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ 
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය නුඹට කියන්න 
තරහක් නෑ නුඹ බැස යන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්
ආසයි මං කවුළු පියන් හැරලා තියන්න 
තරහක් නැහැ නෑවිත් ඉන්න

🌻🌻මේ ගීතයෙන් කියවෙන්නේ පුද්ගලයෙක්ගේ සිතේ තරුණියක් කෙරෙහි ඇතිවුන ඒකපාර්ශවීය ආදරයක් ගැන.

පළමු පද පෙලින් කියනවා "මගේ රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන් වත් නොදකින කුමරා''මේ පුද්ගලයා තරමක් වයස්ගත පුද්ගලයෙක් . ඔහු ළාබාල තරුණියකට ආදරය කරන්න පටන් ගන්නවා.නමුත් ඒ පුද්ගලයා මේ තරුණියට ආදරය කරනවා කියලා ඇය හීනෙන්දත් හිතන්නෙ නෑ කියලා ඔහු කියනවා.

මේ ඒකපාර්ශවීය ආදරය පිළිබඳව දන්නෙ ඔහු පමණයි.ඒ නිසා මේ ආදරය කිසිදු දිනක ඔහුට ලබගැනීමේ හැකියාවක් නෑ..මේ නොලැබීම ඔහු දරගන්නේ "කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම් ආසයි මම නොකී කවිය නුඹට කියන්න " මේ ආදරය ඇයට සෘජුව ඉදිරිපත් කරන්න බෑ..ඒ නිසා කළුවර අහසේ ඉන්න හඳ ඔයා කියලා හිතාගෙන මම කාටවත් නොකී ඒ කවිය කියන්නම්.ඔබ හදක් වගේ පායලා මගේ ලෝකෙන් බැහැලා යන්න,මට තරහක් නෑ තරහක් නෑ කියලා ඔහු කියනවා.

ඊළඟට ඔහු කියනවා,"මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනව නම් ආසයි මං කවුළු පියන් හැරල තියන්න"තරහක් නෑ නෑවිත් ඉන්න"ඔහු කියනවා,ඔහු ළඟ ඇය ඉනඉන්නවනම් ඔහුගේ හදවතේ දොරටු වහලා තියන්න ඕනි නෑ...ඔහුට හැමදාම ඇය එක්ක සතුටින් ඉන්න පුලුවන්...මේක අහිංසක ආසාවක්..ඒත් තනි හිතක ඇතිවන ආදරයක් නිසා ආයෙමත් ඔහු කියනවා මට ඔයාව බලහත්කාරයෙන් මගේ නවතැනට ගේන්න බෑ... තරහක් නෑ නෑවිත් ඉන්න කියලා...

මේ විදියට ඒකපාර්ශවීය ආදරයක් ගැන ධම්මික බණ්ඩාර රචකයා අපූරුවට රචනා කරලා තියෙනවා.










Sunday, March 19, 2023

කුමරියක පා සලඹ සැලුනා

 








පදරචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව 


කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් හැරුනා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන් 
උමතු වූ දෙනුවන් රැහැන් ඇද 
මා අබියස මැවෙන තුසිතය
සුලන් නැලවූ සුයාමය

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුණු තුසිතය
සුරන් නැලවූ සුයාමය 


🌺🌺මේ ගීතය පුරුෂයෙක් කාන්තාවක් නිසා ඇතිවූ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ ගීතයක්.මේ ගීතයේ එන කතානායකයා ස්ත්‍රී ලෝලී පුද්ගලයෙක් නොවී තපසට හුරුවෙලා ඉන්න කෙනෙක්.

ඒ විදියට තපස් රකින පුද්ගලයා ඉදිරියට කාන්තාවක් දකිනවා.ඒ කාන්තාව නර්තනයක් කරමින් ඔහු ඉදිරියට එනවා.ඒ ගන ඔහු කියන්නෙ කුමරියක පා සළඹ සැලුනා කියන පද පෙලින්.මේ කාන්තාව දුටු පමනින් මේ තරුණයාගේ තපස බිදෙනවා."කුමර බඹසර" කියන්නේ ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයා ලොල් නොවීම..එසේ සිටි තරුණයාගේ දැහන් බිදෙන්න පටන් ගත් ආකාරය විස්තර කෙරෙනවා.

ඉන් අනතුරුව මේ තරුණිය පිළිබඳව රාගික සිතුවිලි මොහුගේ සිතේ උපදිනවා.''උකුල ළැමහස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර''මේ කාන්තාවගේ උකුල,පියයුරු හා (මලවි කරලිය) කාන්තාවකගේ වටිනාම ආභරණය මේ සියල්ලම ඔහු මනසින් විවර කරලා බලනවා.කාන්තාව ඇඳ සිටින දුහුල් සලු ඔහු මනසින් විවර කරනවා.එහිදී ඔහු මනස සල්ලාලයෙකුට උපමා කරලා තියෙනවා.ඒ එක්කම උමතු වුන ඇස් වලින් ඔහුට පේන්නේ ඔහු ටුසිත දෙව්ලොව ඉන්නවා වගේ...මේක ඉතාම සුන්දර අවස්ථාවක් විදියට මේ තරුණයා හිතනවා.

අවසානයේ දී මේ තරුණයා ඔහුට සිදුවූ දේ ගැන කම්පා වෙන්න පටන් ගන්නවා."නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද"ඔහු කියනවා මම ජීවිතේ කියන තපෝ වනය මැද බොහොම විනීතව හිටියා,ඒ වගේම හැඟීම් නැමැති ඇත්තු දංවැල් කඩාගෙන ඔබ වෙතට ආවා."තලා සිත කම්පනය කරවයි"දැන් හෝ දුක් වෙනවා ඔහුට මේ මොකද උනේ කියලා,බොහොම විනීතව,ස්ත්‍රීන්ට ලොල් නොවී,දැහැනට සම වැදිලා සිටි ඔහුගේ සිතේ කලින් මැවුනු තුසිතය බිඳෙන්න බිඳෙන්න පටන් ගන්නවා

එහිදී බ්‍රහ්මචාරී පුද්ගලයකුට කාන්තාවක් නිසා ඔහුගේ දැහැන් බිඳිලා නැවතත් ඔහු සිහියට එළඹෙන ආකාරය පිළිබඳව රචකයා අපූරුවට සදහන් කර්ල තියෙනවා.🌺🌺

Saturday, March 18, 2023

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ

 





















පදරචනය - ලූෂන් බුලත්සිංහල 

සංගීතය - රෝහණ වීරසිංහ 

ගායනය - රෝහණ වීරසිංහ 


මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින් 
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ 
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ 

🍁🍁යෞවන කාලයේ මතක පෙළක් හිතේ ගුලි කරගෙන මුතුකුඩ ඉහලන මල් වරුසාවක ඔහු පාරදිගේ ඇවිදගෙන යනවා.ඔහු ඒ විදියට පාරේ ගමන් කරද්දී වාහනයක් ඔහුව පසුකරමින් යනවා.ඒ වාහනය යන්නෙ වැස්සෙන් පාරෙ එකතුවුන වතුරින් ඔහුව තෙමාගෙන.ඔහු ඒ වාහනය දිහා බලද්දී ඔහුට පේනවා,ඒ වාහනේ ඉන්නේ ඔහුගේ කලින් පෙම්වතිය කියලා.ඇයව දැක්කට පස්සේ ඔවුන්ගේ අතීතය ඔහුට සිහිවෙන්න පටන් ගන්නවා.

අතීතයේ දී මොවුන් පෙම් කරන කාලේ නුවර අහස අඳුරු කරමින් ඇදහැලුන වැස්ස ඔහු දකින්නේ දේදුන්නක් වගේ.ඒ කාලෙ ආදරෙන් ඒ වැස්සේ එකට තෙමි තෙමී ගිය අපි දෙන්නම අද එකම පාරේ දෙයාකාරයකට ගමන් කරනවා.ඇය රියක නැගලා ඇගේ ගමන යනවා,තරුණයා තවමත් අතීත මතක එක්ක පයින් ම තමන්ගේ ගමන යනවා.ඒ පිළිබඳව ඔහු සිහිකරනවා..

අවසානයේ මේ තරුණයා ඔහුට මේ අවස්ථාවේ උන සිදුවීම ගැන මතක් කරනවා.ඇය වාහනය ඇතුලේ උණුසුම් ව ගමන් කරන මේ වැස්ස වෙලාවේ ඒ වාහනයට යටවන පාරේ තිබුන මඩ වතුරින් ඔහුව තෙමාගෙන යනවා.ඒ සිදුවීම ඇය හිතාමතා කළ දෙයක් ලෙස සිතා ඔහුට ඒ පිළිබඳව කේන්තියක් ඇති වුනේ නෑ.හිතට දුකක් නැගුනේ නෑ.ඔහු කියනවා ඔහුට තාමත් සිහිවෙන්නෙ ඔවුන්ගේ අතීතය කියලා.අපේ ඒ සබඳකම් ගැන මේ "රිය සක" වාහනේ රෝදය අපේ අතීතය දන්නෙ නෑ..ඒ නිසා මේ සිදුවීමට වරද වාහනේ රෝදයට පවරනවා.

පැරණි පෙම්වතියට ගායනා කරන අපූරු ගීතයක්.මේ ගීතය සංගීතවත් කරලා ගයානා කරන්නෙ ආචාර්ය රෝහණ වීරසිංහයන්.ඔහු බොහෝ ගීත වලට සංගීතය සැපයුවාට ඔහු විසින් ගායනා කර ඇති ගීත සංඛ්‍යාව ඉතා අල්පයි..ඒ අතරේ මේ ගීතය ඉතා අපූරු ගීතයක්.🍁🍁


Friday, March 17, 2023

නීල බිඟු කැල


 








පදරචනය - කේ.ඩී.කේ.ධර්මවර්ධන සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක 

නීල බිඟු කැල තාමරස පෙළ 
ආදරෙන් සනසාලා 
තිසර තුඩු මුදු තඹර පහසින් 
මෝහනය වීලා 

මාරුතේ මතුරා යතේ 
සුරඹුන් නැගූ මුකුළු 
මාවතේ අතුරා ඇතේ 
සුරඹුන් නෙළු කැකුළු

ජීවිතේ කිරි සාගරේ 
කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී
 
🌻🌻මේ ගීතය 1975 වසරේ තිරගත වුන "රජගෙදර පරවියෝ" චිත්‍රපටයේ එන ගීතයක්.මේ ගීතය පදරචනය කළේ කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්.සංගීතය හා ගායනය ආචාර්ය වික්ටර් රත්නායක ශිල්පියා.

මේ ගීතයේ මුල් කොටසින් කියනවා "නීල බිඟු කැල කැළ තාමරස පෙළ ආදරෙන් සනසාලා,තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා"බිඟුන් කියන්නේ මීමැස්සන්ට,තාමරස කියන්නේ නෙළුම්.එතකොට මේ කියන්නේ නෙළුම් ගොඩක බඹරු වහනවා කියලා.ඊළඟට කියන්නේ 'තිසරුන්' ගැන.සාහිත්‍යයේ තිසරුන් උපමා කරලා තියෙන්නේ කාන්තාවකගේ පියයුරු වලට.ඉතින් මේ රචකයා සඳහන් කරලා තියෙන්නේ තරුණයෙක් තමන්ගේ පෙම්වතිය සමඟ ආදරෙන් ළං වෙලා ඉද්දි තරුණියගේ පියයුරු පහසින් ඔහු මෝහනය වෙනවා කියලා.

මේ දෙවනි පදපෙළ කුඩා වචන වලින් හැඩගැන්විලා තියෙනවා.ඒ වුනත් මෙහි ගැබ් වෙලා තියෙන අරුත විශාලයි,හරිම අපූරුයි.'මාරුතය' කියන්නේ සුළඟට.මේ පෙම් යුවල මුමුණන වදන් හුළඟට එකතුවෙලා හමාගෙන යනවා.ඔවුන්ගේ ඒ මතක සටහන් සුරංගනවන් මාර්ගයේ අතුරකා තියෙනවා..මතකය්න් මගදිගට තියෙනවා කියලා අදහස් කරනවා.

අවසාන පද පෙළින් රචකයා සඳහන් කරන්නේ ජීවිතය නැමැති කිරි සාගරය කළඹන්න සමත්වුනේ මේ කාන්තාව කියලා.ඒ නිසා ඔහු කියනවා,මගේ ජිවිතේට ඇවිල්ල මගේ ජීවිතේ ලස්සන කරලා,ඔයා එකපාරටම සැඟවිලා යන්න එපා කියලා,මේ තරුණයා ඉල්ලනවා.

බොහොම කෙටි පද යෙදුම් සහිත වූ මේ ගීතය තුළ මේ තරම් අපූරු රිදුමක් සැඟවිලා තියෙනවා.මේ ගීතය හරි අපූරු ගීයක්.එයට මටනම් සංගීතයක් සහ කටහඬක් මුසුවීම නිසා ගීතය තවත් අලංකාර වෙලා තියෙනවා.🌻🌻

Thursday, March 16, 2023

කතරක තනිවී

 


පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 

සංගීතය - මර්වින් පෙරේරා 

ගායනය - මර්වින් පෙරේරා 

කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී 
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැනම නොම රැදේ
පැමිණෙන දුක් පැණිරස බව නොසිතුනිද ළඳේ

සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමි
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී

🌺🌺මේ ගීතය ගායනා කරන්නේ මර්වින් පෙරේරා ගායන ශිල්පියා,ඒත් මේ ගීතය වර්තමානයේ ගොඩක් ජනප්‍රිය වුනේ මර්වින් පෙරේරා ශිල්පියාගේ මුණුපුරා නදීමාල් පෙරේරා මේ ගීතය ගායනා කළ නිසා.ඒ වගේම මේ ගීතය රචනා කරන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස් නම් මහා සංගීතවේදියා.

මේ ගීතයේ කතාකරන කාන්තාව විවාහ ජීවිතයට සමුදුන්න කෙනෙක් හෝ කලින් තිබූ ආදරයක් බිඳුන කාන්තාවක්.ඒ කාන්තාව බොහෝ දුක් විඳින කාන්තාවක් නිසා ඇයට අනුකම්පාවෙන් ඇතිවන ආදරයක් ගැන රචකයා සඳහන් කරනවා.

"කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී,හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී"මේ ගීතයේ තරුණයා බොහොම සැපවත් ජීවිතයක් ගත කළ කෙනෙක්.'හිම සෙල' වචනය මගින් ඒ පිළිබඳව විස්තර කෙරෙනවා.ඒත් ඔහුගේ හිතගත් කාන්තාව කාන්තාරයක ඉන්නවා දැකලා ඔහුගේ හදවත ගිනිගන්නවා...ඔහු මේ කාන්තාවට කියනවා ජීවිතය හැමදාම එකම විදියට තියෙන්නේ නෑ,ගිම්හානය(කටුක ජීවිතය)ආවා වගේම සරත්,වසන්ත,කාලයත් පැමිණෙනවා.ඒ නිසා පැමිණෙන දුක් පැණිරස බව හිතන්න කියලා තරුණයා තරුණියට කියනවා.

අපි රාත්‍රියට හරිම අසාවෙන් බලන හඳට ලස්සන එළියක් ලබාදෙන්නෙ හිරු එළිය.ඒ වගේම තමයි මේ කාන්තාවගේ ගිම්හාන කාලෙදි ඇය නොදනුවත්ව ඇයට සහය වෙන්නෙ මේ තරුණයා."සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි" මේ තරුණයාට දැනෙනවා තරුණිය ඔහුට ආදරය කරන බව..ඒත් ඔහුට අවශ්‍ය මේ පිළිබඳව ඇගේ වචනින්ම දැනගන්න.ඒ නිසා තමයි ඔහු නැවත නැවත මේ ගැන අහන අහන ඔහුටම ඔහු ගැන නිහඬ හිනාවක් ඇතිවෙනවා.තරුණයාගේ කෙලිලොල් බව(තාරුණ්‍යය අවධිය)ගැන මෙහිදී විස්තර වෙනවා.

මේ තුන්වන පද පෙළින් රචකයා අදහස් කරන්නේ 
මොවුන් මේ ආදර කතාව පටන් ගන්න ඕනි ඇයි කියලා හේතු කියන්න උත්සාහ කරනවා."විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු"ගොඩක් උස රූස්ස ගස් තියෙනවා.ඒත් ඒ ගහ ලස්සන වෙන්නේ ඒ හගේ මලක් පිපුනම..ගහට මල වගේම තමයි..මුහුණ්කට හිනාව කියන්නෙත්.මුහුණක් ලස්සන වෙන්නෙත් හිනාවකින් මුව පිරුනම.මේ විදියට උපමා යොදාගනිමින් රචකයා කියන්නේ ජීවත්වෙන්න ආදරය අවශ්‍යයි කියලා.ඉන්පස්සේ ඔහු කියන්නේ ගඟක් වගේ ගලාගෙන ඇවිල්ලා ඔහුගේ ආදරය පිළිගන්න කියලා..

මේ විදියට අපූරු උපමා උපමේය භාවිතා කරමින් මේ ගීතය ප්‍රේමකීර්ති රචකයා ගොඩනගලා තියෙනවා..🌺🌺

Tuesday, March 14, 2023

ඇතුගල වෙහෙර වඳින

 


පදරචනය -  චතුර ගීතනාත් බණ්ඩාර 

සංගීතය - ප්‍රියන්ත නාවලගේ 

ගායනය - චාමර වීරසිංහ 

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං 
හැඬුවෙමි දුකට රත්තරං

රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඩුවේ දුකට රත්තරං

ඇතුගල කන්ඳ තවම සඳ සිපගන්න තරම
ඇක දැක ඉන්න බැරුව මගෙ හිත ගිණි වැදුනම
කුරුණෑගල අහසත් දැන්
හඬාවි දුකට රත්තරං

🌻🌻මේ ගීතය ලියවිලා තියෙන්නේ ඇතුගල රන්තාලිය වැව අසල ප්‍රේම කරපු දෙදෙනෙක් ප්‍රේමය නැවත සිහි කරන ආකාරය පිළිබඳව යි.

මේ ප්‍රේමවන්තයා ප්‍රේම කරපු ප්‍රේමවන්තිය දැන් ඔහුට අයිති නෑ.ඇයව දැන් වෙන කෙනෙකුට අයිති වෙලා.හැබැයි ඔහු මතක් කරනවා ඇය සමඟ ආදරයෙන් ගත කරපු කාලය.

කුරුණෑගල ප්‍රදේශයේ බොහෝ පෙම්වතුන් පෙම් කරන්න තෝරාගන්න ලස්සන තැනක් තමයි,මේ රන්තාලිය වැව අද්දර සුන්දර පරිසරය. මේ ගීතයෙන් කියන්නේ මේ පෙම්වතාට හිටපු පෙම්වතිය ගැන "ලිහිණන්" ඔහුගේ යහළුවන් කියද්දී ඒ දුක ඉවසාගන්න බැරුව ඇතුගල වෙහෙර මළුවෙ ඔහු දුක් වෙන ආකාරය පිළිබඳව මේ පළවෙනි පද පේළියෙන් විස්තර වෙනවා.

මේ රන්තාලිය වැව ළඟ උන් කාලය උන් කාලය,ඒ අතීත මතක සියල්ලම අරගෙන මේ පෙම්වතිය ඔහු අතහැර යන්න ගිහින්.ඔහු මේ මතක සිහි කරමින් තාමත් වැව පාමුල ඉන්නවා.

රාත්‍රියේ හඳ පායනකොට ඇතුගල කන්ද සඳ සිපගන්නවා වගේ ඔහු දකිනවා.ඒ දර්ශනය දකින ඔහුට මතක් වෙන්නෙ ඔහු පෙම්වතිය සිපගත් ආකාරයයි.ඔහුට හිත ගිනි ගන්නවා වගේ දනෙනවා .ඔහුගේ හිතේ ඇතිවෙලා තියෙන දුක දකින කුරුණෑගල අහසත් ඔහු වෙනුවෙන් අඬයි කියලා ඔහු කියනවා.

ඉතින් විරහව ගැන කියවෙන අපූරු ගීතයක් තමයි මේ ඇතුගල වෙහෙර වදින ගීතය.කුරුණෑගල ප්‍රදේශයේ ඉන්න අයට වගේම කුරුණෑගල යන ඕනෑම කෙනෙකුගේ මුවඟට නිතැතින්ම සිහිවෙන්නෙ මේ ගීතයයි.🌻🌻

Monday, March 13, 2023

දේදුන්නේන පාට පාටින්

        දේදුන්නේ පාට පාටින් 

පදරචනය - මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර 

සංගීතය - ස්ටැන්ලි පීරිස් 

ගායනය - සනත් නන්දසිරි 

දේදුන්නනේ පාට පාටින් ආදරේ බැන්දූ
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දූ
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ 
මායාවේ දෑස දැල්වේ 
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තානේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තණ්හාවකින් ළං ළං වෙනා

රන් මෙවුලේ නෙත් රැදේවි
පා යුග්මේ සිත් ඇලේවි
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී
කාමී අඳුරේ 
කැන්දා ගනී මෝහනය වී

🌻🌻මේ ගීතය මහාචාර්ය සනත් නන්දසිරි ගායන ශිල්පියා ගායනා කරන අපූරු ගීතයක්.මේ ගීතය ලියවෙන්න හේතු වෙලා තියෙන්නේ සරසවියේ අධ්‍යාපනය ලැබූ මිතුරන් දෙදෙනෙක්.මේ මිතුරන් දෙදෙනා යහළුවෙක් හා යෙහෙළියක්.කාලයකදී මේ මිතුරාට මිතුරිය කෙරෙහි ඇතිවන ආදරය පිළිබඳව මේ ගීතයේ සඳහන් වෙනවා.

දේදුන්න කියන්නේ සොබාදහමේ අපූරු නිර්මාණයක්.හැබැයි මේ දේ දුන්න කාලෙකට පායලා ආයෙත් නැති වෙලා යනවා.ඔවුන් දෙදෙනාගේ මේ සම්බන්ධයත් දේදුන්න වගේ කියලා ඔහු උපකල්පනය කරනවා.ඊට පස්සේ ඔහු මේ කාන්තාව සංසාරය නැමැති වන්දනාවේ ප්‍රේමණීය කාන්තාවක් විදියට ඔහු මේ තරුණිය දකිනවා.ඔවුන්ට ප්‍රේමයේ සැබෑ වුණේ නැතත් මේ කාන්තාවෝ ගේ ජීවිතයට ලොකු රුකුලක් වුණා කියලා ඔහු කියනවා.ඔහු තනියම හිතෙනවා හැන්දෑවල් වල දී ඔහු සමඟ කාලය ගතකරන මේ තරුණිය ඔහුගේ ද ඔහුගේ නොවේද කියලා.

මීළඟ පද පේළියෙන් ඔහු මේ කාන්තාව වර්ණනා කරනවා.ඇය ගංගාවේ ගීතයක් වගේ,ගිම්හානයේ හමන වළාකුලක් වගේ,ඒ විදියට තමන්ගේ කටයුතු වලට උදව් වුන මේ තරුණිය ඔහුගේ හිතේ දළුලා වැඩෙන ප්‍රේමයට රුකුලක් වෙන්නෙ නෑ.ඒත් ඔහු ඇයට ආදරය කරන නිසා ඇය ඔහුට හිමිවේවි කියලා හිතනවා.නමුත් ඔහුට මේ කාරණාව ඇයට ප්‍රකාශ කිරීමේ හැකියාවක් නෑ."තුන් කල් දකිනා ඇල්මෙන් රඳනා" මේ තරුණිය තරුණයාගේ අතීතය,වර්තමානය,අනාගතය යන තුන් කාලයම දකිනවා.ඒ හේතුව නිසා තමයි ඇය ඔහුගේ අධ්‍යාපනය සඳහා උදව් කරන්නේ.ඒත් මොහු එය දකින්නේ ඔහුට කරන ආදරයක් විදියට.

ඔන්න මේ අවස්ථාවේදි ඔහු මේ තරුණිය පිළිබඳව ප්‍රේමයට එහා ගිය රාගික සිතුවිලි ඇතිකරගන්නවා."රන් මෙවුලේ නෙත් රැඳේවි"මේ රන් මෙවුල කියන්නේ රත්තරන් මණිමේකලාව.ඒ මනිමෙකලාව කියන්නේ අතීතයේ රජ කාන්තාවන් ඉනවටේ පැළඳුව ආභරණයක්.ඒ ආභරණය පැලඳීම නිසා කාන්තාවට ලිංගික ක්‍රියාවලිය සිදු කිරීමට අපහසු වෙලා තියෙනවා.ඉතින් මේ පද රචකයා මේ මනිමෙකලාව උපාමා කරලා තියෙන්නේ ඒ පිළිබඳව සඳහන් කරන්න.ඒ සමගම මල් යහනේ ඇය දේවතාවියක් විදියට ඔහු දකිනවා.දෑතට දෑත පටලාගෙන කාමී අඳුරක,මෝහනය වෙලා මේ තරුණිය ඔහු අසලට ගෙන්වා ගන්නා ආකාරය ඔහු සිතින් මවා ගන්නවා.මිතුරුකම,ආදරය හා ඉන් එහා ගිය කාමී හැඟීමක් ඔහුට ඇය කෙරෙහි ඇතිවෙලා තියනවා.

ඒ පිළිබඳව තමයි මේ ගීතයෙන් අපිට සඳහන් කළ තියෙන්නෙ.ඔහුට ඇතිවුණු හැඟීම් පදවලට ගලපලා අපූරුවට මේ ගීතය රචනා කරලා ගායනා කරලා තියෙනවා.🌻🌻

මතක ලන්තෑරුම්

           මතක ලන්තෑරුම් 

පදරචනය - අභිශේකා විමලවීර 

සංගීතය - ලහිරු ද කොස්තා

ගායනය - අභිශේකා විමලවීර 


මතක ලන්තෑරුම් අඳුර මැද 
ඔබේ හුස්මක සුවඳ දැනුනා 
අහම්බෙන් වට මුරුගසන් වැහි 
මැද්දෙ මම තනියෙන්ම තෙමුනා 
කියන්නම මග බලාගෙන උන් 
වචන අමතක වෙලා රිදුණා 
දැනුනෙ නැතුවට මගේ කඳුලින් 
කමිස උරහිස තෙමී තිබුණා 

මතක ලන්තෑරුම් අඳුර මැද 
හුස්ම නොතියා ඉන්න තිබුණා 
අහම්බෙන්වත් මුරුගසන් වැහි 
නොදී ඈතට යන්න තිබුණා 
කියන්නම ගිය වචන අමතක උනත් 
මගෙ හදවතට දැනුනා 
නොදැනුනා වාගේම උන්නට 
සුදු කමිස උරහිසට රිදුණා 

පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා 
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා 

තනිය හුරු මට මගේ ලෝකේ 
තනිය තනි නොකරන්න තිබුණා 
එදා ඔය ඇස් දිහා නොබලම 
බිම බලාගෙන යන්න තිබුණා 

🌼🌼මතක ලන්තෑරුම් ගීතයේ ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ තුන්කොන් ආදර කතාවක් ගැන.මේ ගීතය මුලින්ම ආරම්භ වෙන්නේ " මතක ලන්තෑරුම් අඳුර මැද" කියලා.අපිට මතකයක් කියන්නේ ටිකක් අපහැදිලි දෙයක්.අපි කාට හරි ආදරේ කරනවා නම් ඒ මූණ මතක් කරන්න උත්සාහ කරද්දී එකපාරටම මතකෙට එන්නේ නැහැ.ඒ රූපය ටිකක් බොඳවෙලා වගේ තමයි පේන්නේ.ලන්තෑරුම් එළියත් ඒ වගේනෙ.හරිම අපැහැදිලි එළියක් තමයි ලන්තෑරුම් එළියත් අපිට දෙන්නේ.ඊට පස්සේ මේ ගීතය කියන්නේ ''ඔබේ හුස්මක සුවඳ දැනුනා''කාන්තාවකට පුරුෂයෙකුගේ හුස්ම සුවඳ,ලෝකෙ තියෙන අනික් සුවඳවිලවුන් වලට වඩා ගොඩක් වටිනවා.

ඊට පස්සේ මේ පද පේළියෙන් කියනවා "අහම්බෙන් මට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුනා"මෙතැනදී ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි,මේ ගීතය කියන්නේ,මේ ප්‍රේමවන්තයාගේ බිරිඳ ද නැත්නම් ඔහුගේ පෙම්වතිය ද කියලා.මේ ගීතය මේ කාන්තාවො දෙදෙනාම තමන්ගේ දෘෂ්ටිකෝණවලින් ගායනා කරනවා.එතකොට මේ 'මැද්දේ මම තනියෙන්ම තෙමුනා' කියද්දී පෙම්වතිය ඉන්නෙ ප්‍රේමවන්තයා සමඟ.ඇය ඔහුගේ ප්‍රේමය අපේක්ෂා කරමින් ඉන්නවා.ඒත් මේ ප්‍රේමවන්තයා ටිකක් ආඩම්බර,මංමුලා වූ පුද්ගලයෙක්.මේ ප්‍රේමවන්තියට ඉතාම ලේසියෙන් ඔහුගේ ආදරය ලබා ගන්න බෑ.හැබැයි මේ දෙදෙනා ඉතාම ආදරයෙන් ඉන්න අවස්ථාව බිරිඳගේ ආත්මය දකිනවා.ඇයට මතක්වෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක මීට කලින් ආදරය කරද්දී දැනුන හැඟීම්,ඒ නිසා තමයි ඇය කියන්නේ අහම්බෙන් වට මුරුගසන් වැසි මැද්දෙ මම තනියෙන්ම තිබුණා කියලා.ඒත් එක්කම තමයි මේ 'මුරුගසන් වැස්ස' කියන පදය,මේ වැස්ස කියන්නේ ඉතාම විනාශකාරී දෙයක්.ඒ වගේම තමයි අනියම් සම්බන්ධයත්.එයත් විනාශකාරී හැගීමක්.ඒ එක්කම කියනවා," දැනුනේ නැතුවට මගේ කඳුලින් කමිස උරහිස තෙමී තිබුණා"මේ අවස්ථාවේ දී පෙම්වතියට අවශ්‍ය ආදරය ඔහුගෙන් ලැබෙන්නෙ නැති නිසා ඇය හඬන බව රචකයා සඳහන් කරනවා.

ඒ අතරේ මේ පුරුෂයා කතාව ආරම්භ කරනවා.ඔහු කියනවා,"මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා"මෙතැනදී ඔහු කියන්නේ ඔහු ප්‍රේමවන්තිය සමග හිටියත්,ඔහුට සිය බිරිඳගේ මතකයන් තවමත් හැංගෙනවා කියලා.ඔහුට විටෙක හිතෙනවා බිරිඳ තමා දිහා බලාගෙන ඉන්නවාදෝ කියලා.ඒ නිසා ඔහුට ප්‍රේමවන්තියට සිය ආදරය පරිපූර්ණව දෙන්න බැරි වෙලා තියෙනවා.නොදැනුනා වගේ හිටියත් ඔහුටත් රිදෙනවා කියලා කියනවා.ඒ නිසා ඔහු උත්තර දෙන්නේ කාන්තාවන් දෙන්නටම. 

ඊට පස්සේ ආයෙත් මොහු කියනවා"පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා" නිල් පාට කටරොළු මලක නිල පිපුනු හිතකට දෙන්න තිබුණා"මේ පුරුෂයා කියන්නේ ජීවිතෙන් පැරදිච්ච කෙනෙක්,බිරිඳ නැති උන කෙනෙක්,එනිසා එහි හිත ඔහේ පරවෙලා යන්න තිබුණා කියලා ඔහු කියනවා.එහිදී "නිල් කටරොළු මල" උපමා කරලා තියෙන්නේ කාන්තාවකගේ ලිංගික අවයවයට.එතැනදී නිල් පාට ආදේශ කරල තියෙන්නේ පිරිසිදුකමට.එතකොට මේ බිරිඳගේ සහ ප්‍රේමවන්තියගේ ආදරය ඉතාම පිරිසිදුයි.ඉතින් ඒ ආදරය මොහු වගේ සල්ලාල පුද්ගලයෙකුට නොදී පිපුණු හිතකට දෙන්න තිබුණා කියලා ඔහු මේ කාන්තාවන් දෙන්නටම කියනවා.

අවසානයේදී මේ කාන්තාවෝ දෙන්නම කියනවා,"තනිය හුරු මට මගේ ලෝකෙ තනිය තනිනොකරන්න තිබුණා,එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා"ඉතින් මේ ආදර කතාවෙන් පැරදුණු කාන්තාවන් දෙන්නම කියන්නේ,මොහු හමුවූ හමුවූ පළවෙනි දවසේ ඒ ඇස් දෙක දිහා බලන් නැතුව බිම බලාගෙන ගියානම් අද මේ දෙදෙනාට මේ වගේ ඉරණමක් අත් වෙන්නේ නෑ කියලා.

ඉතින් ඒ වගේ ලස්සන ගීතයක් අද දවසේ විචාරයට ලක් වුණා.මේ ගීතය අභිෂේකා විමලවීරයන්ගේ හඩින් සහ පද රචනයෙන් හැඩ වුණා.🌼🌼

Saturday, March 11, 2023

පුර පෝය හඳට ගීතය

           පුර පෝය හඳට 

පදරචනය - සුනිල්. ආර්. ගමගේ

සංගීතය - එච්.එම්. ජයවර්ධන 

ගායනය - සුනිල් එදිරිසිංහ 

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්

මුතු මාල පොටක් ගෙලේ බඳින දා
සිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුණි ද මන්දා

රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුණි ද මන්දා

🌼🌼අද මම කතාකරන්න හදන්නෙ නිතර ඇහෙන,ටිකක් පරණ ලස්සන ගීතයක් ගැන.ඒ තමයි මේ "පුර පෝය හඳට හඳට" කියන ගීතය.මේ ගීතයෙන් කියවෙන්නේ යෝජිත විවාහයක් ගැන.

"පුර පෝය හදට පෙමින් බැදුන තාරකා ලදුන්" පලවෙනි පිළියෙන් කියනවා 'පුර පෝය හඳ' කියලා.බොහෝ ගීත වල පුරහඳ කියලා උපමා කරන්නේ කාන්තාවකට.ඒත් මේ ගීතයේ හඳ කියන්නේ මනමාල පාර්ශවයට.'තාරකා ළඳුන්' කියන්නෙ මනාලිගේ පාර්ශවයට.මෙයින් කියන්නේ මනමාලි බලන්න ගියෙ මනමාල පාර්ශවයේ මනාලයා නීල වලවට කියනවා.මේ මනාලිගේ පාර්ශ්වයෙන් කියන පණිවිඩය අසාගෙන එන්න කියලා.මනාලි මේ යෝජනාව භාරගන්නවද එම නම් ප්‍රතික්ෂේප කරනවා ද කියලා දැනගන්න තමයි මේ පුද්ගලයාට ඕනි වෙලා තියෙන්නේ.එතකොට මේ 'නීල වලාව' කියලා කියන්නේ කපු මහත්තයට.

දැන් ඔහු මේ විවාහය ගැන හීන දකිමින් තමයි ඉන්නේ.මනාලියට මුතු මාන පළඳින ආකාරය, එම අවස්ථාවේදී ඇය ලැජ්ජ වෙන ආකාරය මනාලයා හීන දකිනවා වගේම මනාලියත් හීනෙන් දකිනවා ඇති කියලා මේ මනමාලයා හිතනවා.

මෙය යෝජිත විවාහයක් වුනත් මනාලයා බලාපොරොත්තුවෙන්නේ ආදරයකින් කෙලවර කරන්න.මොකද,විවාහයක් සාර්ථක වෙන්න ආදරය අවශ්‍ය වන නිසා.රන් තොරන් බැඳලා,නෑ හිත මිතුරන්ට මේ පිළිබඳව දන්වලා මේ විවාහය සිදු වුනාට පස්සේ හිත ආදරයක බැඳෙයි කියලා ඔහු විශ්වාස කරනවා.විවාහය සාර්ථකව පවත්වාගෙන යන්න ආදරේ අනිවාර්යෙන්ම ඕනි.ඒ නිසා තමයි මොහු ඇය ආදරයක බැදේවි කියලා විශ්වාසයෙන් හීන දකින්නෙ..ඒ නිසයි මේ "හිත ආදරයක බැඳුණි ද මන්දා" කියලා පේලි දෙකකින් ම උපුටා දක්වලා තියෙන්නේ.

 ඒ විදිහට අදත් ලස්සන ගීතයක් රසවිඳින්න හැකියාව ලැබුනා.🌼🌼

Friday, March 10, 2023

සිහිල් පින්න ගාව ගාවා

        සිහිල් පින්න ගාව ගාවා 

පදරචනය - නිලාර් එම් කාසිම්

සංගීතය - භාතිය සන්තුෂ්

ගායනය - නිරෝෂා විරාජිනි 

සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා වුනේ
රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
මගේ ජීවිතේ මල් පිපුනාවේ

රැයේ  නොසොල්ලා මලේ රොන් සිඹින්නා 
සඳේ රැස්ද මා දැන් අවුලාවී
හසුන් තුඩු හඬාවා මෙවුල් දම් බිඳේවා 
නිවාලන්න ගිනිගත් සන්තානේ 

සුසුම් සර විළාපේ ලවන් පීර පීරා
පිපාසෙන්ද මත්වී මල් යහනේ 
හැඟුම් නග්න දෑසේ නොකී භාව ගීයේ 
සදානන්ද සීමා කොයි මානේ

🔴පෙනෙන ගීතයේ නොපෙනෙන පැතිකඩක් සොයා යන ගමනේ තවත් දවසක් අද. නිරෝෂා විරාජිනී ගායිකාව ගායනා කරන සිහිල් පින්න ගාව ගාවා ගීතය.

මේ ගීතයේ මුල් කොටසේ තියනවා "සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ" කියලා මේ ගීතයේ කතානායිකාවට දැනෙන හැඟීම පිළිබඳව තමයි මේ විස්තර කරන්නෙ,සුලඟ කියලා කියන්නේ ගත හිරිවට්ටන දෙයක්.ඒකට පින්නත් එකතුවෙලා සරාගී විදියට තමා ලඟට ලංවෙද්දි හරිම සුන්දරයි.එහෙම හමාගෙන එද්දි ලස්සන දෑසක් ඇයව කොනිත්තනවා වගේ එයාට දැනෙනවා.ඒ කියන්නේ හරි අපූරු පිරිමි රුවක් වෙන්න පුළුවන්.පිරිමි ඇස් දෙක්කට පුළුවන් ගැහැණු හිතක් බැල්මකින් ආකර්ෂණය කරගන්න.ඊළඟට කියනවා "රැයේ සුන්දරත්වයදෝ මේ නිදාඋන් හැඟුම් උදාවේ මගේ ජීවිතේ මල් පිපුනාවේ"මේ පිරිමියා දැක්කා පමණින් කාන්තාවක හිතේ හැංගිලා තිබුන හැඟුම් අවදි වුණා කියනවා.මේ සියලු දේවල් සිද්ධ වෙනකොට ඇගේ ජීවිතේ මල් පිපෙනවා කියල කියනවා.  

මේ කොටස හරි අපූරු වචන ටිකකින් හැඩ ගැහිලා තියෙනවා."රැයේ ඇස් නොසොල්ලා මලේ රොන් සිඹින්නා"රචකයා මේ පද පෙළින් අපූරුවට සඳහන් කරන්නේ මේ දෙදෙනාගේ මධුසමය ගැන.මධුසමයේදී තරුණියකගේ සිතේ ඇති වන හැඟීම් පිළිබඳව තමයි මේ ගීතය පුරාවටම විස්තර වෙන්නේ.ඉන්පස්සේ "සඳේ රැස්ද මා දැන් අවුලාවී" සඳ කියන්නේ අදහස්,හැඟීම් වැඩි කරන්න පුළුවන් වස්තුවක්.ඉතින් මේ හැඟීම් උද්දීපනය වෙලා ඉන්න කාන්තාවගේ හැඟීම් තවත් වැඩිකරන්න මේ සඳට පුළුවන් වෙලා තියෙනවා.මේ අවස්ථාවේ ඇය කියනවා "හසුන් තුඩු හඬාවා මෙවුල් දම් බිඳේවා" හසුන් කියන්නේ කාන්තාවකගේ පියයුරු,මෙවුල් දම් මණිමේකලාව බිඳලා ඇයව නිවාලන්න කියලා මේ තරුණිය කියනවා.ඒත් මෙයඅරුණ යට කරන ප්‍රකාශයක් නෙවෙයි.මේ සියල්ලක්ම ඇගේ සිතේ ඇතිවන හැඟීම් විතරයි.

මේ තුන්වෙනි කොටසේ කියනවා"සුසුම් සර විලාපේ ලවන් පීර පීරා පිපාසෙන් ද මත්වී මල් යහනේ"මදුසමය අවස්ථාවකදී එම යහන මල් වලින් සරසනවා,ඒ අවස්ථාව සුන්දර වීම සඳහා.මේ තරුණිය තව දුරටත් සිහි කරන්නේ ඇගේ හැගීම් වලින් පිරුනු මේ පිපාසය සන්සිඳින්න කියලා..

ඉතින් මේ විදිහට ඉතාමත් අලංකාර ශෘංගාර ගීතයක් රසවිදීමේ හැකියාවක් ලැබුණා.අලංකාර ගීතයක් උනාට මේකෙ තේරුම දැන නොගෙන හිටපු අයට අද මේ ගීතයේ අරුත දැන ගන්න ලැබුණා.මේ ගීතය ලස්සන සංගීතයකින් හඩවෙලා තියෙනවා.🌼🌼

Thursday, March 9, 2023

හිත මිතුරු සුළඟ

             හිත මිතුරු සුළඟ

පදරචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - වික්ටර් රත්නායක 

ගායනය - වික්ටර් රත්නායක 

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් 
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි  කෙසේ තණ නිල්ලේ ගොහොරු සැදේ
කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වලා බඳේ කඩ ඉමෙන් මෙහා

🔴වික්ටර් රත්නායකයන්ගේ සංගීත මුසුවෙන් හා ගායනයෙන් හැඩවුන අපූරු ගීතයක් තමයි මේ හිත මිතුරු සුළඟ ගීතය.බැලු බල්මටම පෙනෙන්නේ වැස්සක් ගැන කියවෙන ගීතයක් කියලා.නමුත් මේ ගීත රචකයා මේ වැස්ස උපමා කරලා තියෙන්නේ කාන්තාවකගේ ඔසප් දිනයකට වෙන්නත් පුලුවන්.

මේ ගීතයේ එන පුද්ගලයා සිය පෙම්වතිය හමුවෙන්න බොහෝ දවස් දින ගනිමින් ඉඳලා අවස්ථාවක්,එහිදී ඔහු සුළඟ එක්ක මිතුරු වෙලා කියනවා "හසඟනක්" විදිහට මේ හම්බවෙන්න එන තරුණියව ඔහුට හමුවෙනකම්,ඒ සුන්දර මොහොත නිමාවෙනකං වැස්ස මදකට පමා කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

පෙම්වතුන් දෙදෙනෙක් හමුවුනාම ඒ මොහොත හරිම සුන්දරයි.එහිදී හෙමින් හෙමින් මුමුණ මුමුණ,අත්වැල් පටලවාගෙන,එකිනෙකා ළංවෙලා ගමන් කරනවා..ඉතින් වැස්සක් වැටුනම වීදි පුරා වතුර පිරෙනවා,තණකොළ වල ගොහුරු හැදෙනවා,එහෙම සිදුවුණාම ඒ මොහොත සුන්දර නැති නිසා,ඔවුන්ට කතා නොකර,නිදහසේ අනන්තයට සිතින් හෝ ගතින් ඇවිදින්න,මේ ප්‍රේමවන්තයා සුළඟෙන් උදව් ඉල්ලනවා වැස්ස මදක් නවත්තන්න.

මේ තුන්වන පද පේළිය ඉතා අලංකාරයි..මේ ප්‍රේමවන්තයා මීට පෙර හුළඟට ආයාචනා කළත් මේ වැහි වලාකුළ ඔවුන් සමීපයටම ඇවිල්ලා තියෙන නිසා දැන් ඔහු ආයාචනා කරන්නේ වැහි වලාකුලට."වලා බඳේ"තව හෝරා දෙක තුනක් ඉන්න අපේ සමුගැනීම සිද්ධ වෙනකන්.ඉන්පස්සෙ ගංගා වැව් පිරිලා ඉතිරිලා යනකන් වැස්සත් කමක් නෑ කියලා කියනවා.හැබැයි අපි සමුගන්නකං ඉදල වහින්න කියලා තමයි මේ තරුණයා විසින් ඉල්ලා සිටින්නේ.

ඉතින් මේ වගේ අපූරු ගීතයක් රචනා කරන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමත් වුනා...ඒ වගේම ඊට තවත් අපූරු සංගීතයක් හා මෆරම් කටහඬක් මුසුවීම නිසා මේ ගීතය තවත් අලංකාරය වෙලා තියෙනවා.🌼🌼

Wednesday, March 8, 2023

වැහි පබළු ගීතය

             වැහි පබළු සැලී

පදරචනය - උපුල් ශාන්ත සන්නස්ගල

සංගීතය - කසුන් කල්හාර

ගායනය - සුරේන්ද්‍ර පෙරේරා 

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳිමි
මම නෙතු නොපියා හිඳිමි

ළැම සළු විහිරී නෙතු මතම රැඳී
උන්මාද සුසුම් හෙලමි
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල්කිණි මම සිඹින හැටි 

රතැඟිලි සුවදී හිස පිරිමදිමි 
ඔබ දැක මුණිවත රකිමී 
මම පෙම් බඳිමී
මම පෙම් බඳිමී 
සිහිනෙන් ඔබෙ සුව විඳිමි 

🔴මෙම ගීතයෙන් කියවෙන්නේ වැසි දිනක වැස්සට තෙමී තෙතබරිත වූ ඇඳුම් ඇඟටම ඇලී තිබූ තරුණියක් පාරේ ගමන් කරනවිට එය දුටු එක්තරා තරුණයෙකුට ඇය කෙරෙහි ඇතිවුණු රාගික හැඟීමක් පිළිබඳවයි.

මෙම ගීතයට අනුව ගීතයේ කතානායකයා වැස්සට තෙමී තෙතබරිත වූ ඇඳුම් ඇඟලාගත් දෙව්දුවක් බඳු කාන්තාවක් පාර දිගේ ඇවිදගෙන යනවා දකිනවා.මෙය දකින තරුණයා මාවතේ පසෙක ඉඳන් දෑස් දල්වා නෙතු නොපියා බලාගෙන ඉන්නවා.බැලූ බැල්මට මේ ගීතය තමා ඉදිරිපිට සිටින තරුණියකට කියනවා යැයි සිතුවත් මෙය තරුණයා දකින සිහිනයක්.

මේ තරුණිය දෙස බලා සිටින තරුණයා ඇය ගැන සිහින දකින්න පටන් ගන්නවා.එහිදී ඔහුට පේනවා එම තරුණියගේ ළැම වැසුනු සළුපිළි විසිරී එය අඩවන්ව විවෘතවී තියෙනවා.මෙම දසුන මේ තරුණයාගේ හද පාරවන දසුනක්.ඒ දර්ශනය දෙසනෙතු යොමාගෙන බලමින් හිතේ ඇතිවුණ රාගික සිතුවිල්ල මැඩ පවත්වා ගන්න උන්මාදනීය වූ සුසුමක් හෙලනවා.මේ තරුණිය ඉතාම දැඩිව මේ සිහිනය දකින බව පෙන්නන්න ගීත රචකයා මේ සිහින දකිමි කියන වචනය දෙපාරක් ගීතයට යොදා ගෙන තියෙනවා.

"රතැඟිලි සුව දී හිස පිරිමදිමි"මෙම ව්‍යංගයෙන් රචකයා තවදුරටත් කියන්නේ ඔහු දුටු තරුණිය ඔහුගේ අසල නොමැති වුණත්,ඇයට සිහිනෙන් ඔහු ප්‍රේම කරනවා කියලා,එකී හිස පිරිමදින අකාරය පිළිබඳවත් ඔහු සිහිනෙන් දකිනවා.ඒත් මෙලෙස සිහිනෙන් පෙම් බැන්දත් ඇය දැක්කම මුනිවත රකිනවා කියලා කියනවා,ඒ කියන්නේ ඔහු හිතින් කොච්චර ඇයට ප්‍රේම කලත්,ඇය ඉදිරියේ ඔහු හරිම ලැජ්ජාශීලි පුද්ගලයෙක් බවයි.

එලෙස විවිධ ව්‍යංගාර්ථ යොදාගනිමින්,ඉතා අලංකාර ලෙස ගීතය රචනා කොට,එයට මනහර සංගීතයක් හා ලයාන්විත කටහඬක් එකතු කරමින් මෙම ගීතය ඉතාම අලංකාර ගීතයක් ලෙස නිර්මාණය වෙලා තියෙනවා.🔅🔅

Tuesday, March 7, 2023

ගීතයේ අරුත සොයා

            පුන්සඳ රෑට 

පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ 

සංගීතය - ඔස්ටින් මුණසිංහ 

ගායනය - නිරෝෂා විරාජිනි

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවාද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවදෝ රකිනවදෝ නිදි නැතිද 

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට 
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
 
රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදිවාද මදිවාද මගෙ යහන


🔴රත්න ශ්‍රී විජේසිංහ මහතා මේ ගීතය රචනා කරන්නෙ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන.ඔහු කහටගස්දිගිලිය ප්‍රදේශයේ සංචාරය කරද්දි මුනහැසුන කාන්තාවක් කියූ කතාවකින් තමයි මේ ගීය නිර්මාණය වෙන්නෙ.මේ ගීය ව්‍යංගාර්ථ යොදාගෙන හරිම අපූරුවට නිර්මාණය කරලා තියෙනවා.

මේ ගීතයේ එන කතා නායිකාව හේන් ගොවියකුගේ බිරිඳක්.ඇයගේ ස්වාමිපුරුෂයා වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න හේනට යනවා.තනිවම නිවසේ කාලය ගතකරන බිරිඳ හේනට හඳ එළිය වැටෙන හැටි හිතනවා."පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවාද " මේ පුන්සඳ තමයි ඇගේ සැමියා,ඒ පුන්සඳේ එළියෙන් හේනේ අඳුර නැති කලාට මම තනිවම නිවසේ ඉන්න බව ඇය කියනවා.බිරිඳ කියලා හිතලා ඉරිඟු කෙඳි ඉඹිමින් සැමියා නිදිවර්ජිතව පැල් රකිනවද කියලා මේ තරණිය අහනවා.

ලිංගිකත්වය කියන්නේ මිනිස් අවශ්‍යතාවක්.මේ තරුණියටත් එසේ හැගුන අවස්ථාවක් ගැන රචකයා මේ විදියට කියනවා."නිල් තරු රෑන ඉඟි පාන අහස යට",මේ තරුණියට ගමේ තරුණයින්ගෙන් විවිධ යෝජනා ආවත් ඇගේ සැමියා කෙරෙහි තිබෙන ලෙංගතුකම නිසා ඇය ඒ යෝජනා ප්‍රතික්ෂේප කරනවා."මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට"මෙහිදී ඇය ගිරවුන් කියලා හඳුන්වන්නේ ඇයට අයුතු යෝජනා කරන්න එන තරුණයින්ව,මෙහිදී ඇය කියනවා ඇයි කියනවා තමන් දරුවන් නළවන වයසේ හිටියට තාමත් ඇයට දරුවන් නෑ ඒ නිසා වෙනත් යෝජනා කරන්න එපා කියලා.

මේ කාන්තාවට ඇගේ සැමියා ඇතෙක් වගේ,ඒත් ඒ ඇතාට තියෙන එකම සහනය තමයි හීනි තියෙන ඉරිඟු කරල් රකින එක කියලා ඇය කියනවා,ඉතින් ඔවුන් දෙපැත්තකට වෙලා ඉද්දි තුන්පත් රෑනක් ඇති වෙන්නේ නැති නිසා ඇය අහනවා "තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන" "රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"ඇය දරුවෙක් නොමැති දුක මෙලෙස කියනවා.

මේ විදියට රත්න ශ්‍රී රචකයා ඉතා අපූරු ව්‍යංගාර්ථ යොදාගනිමින් රචනා කළ ලස්සන ගීතයක් තමයි මේ පුන් සද රෑට කියන ගීතය..🔅🔅

Friday, March 3, 2023

ගීත වල අරුත් සොයා

        හන්තාන සිහිනේ 

පද රචනය - ජනක සිරිවර්ධන 

සංගීතය - අරුණ ගුණවර්ධන 

ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව , උමාරියා සිංහවංස 

බලා වැලපෙමි නෙලා ගනු බැරි 
හන්තාන සිහිනේ 
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ 
සංසාර සිහිනේ 

වැහි පබළු යට රඟමඩල මැද 
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල 
අමාවක අඳුරේ 
නොඑනු මැන ළඳුනේ 

වඩින තුරු සඳ දුරින් ඉන්නම් 
තරු ඇදුරු පෙම් ගී අහන්නම් 
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ 
හන්තාන අරණේ 

🔴මේ ගීතයට පසුබිම වෙන්නේ පේරාදෙණිය සරසවිය.මේ විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය හදාරන්න එන ශිෂ්‍යයාවක් සහ ඇදුරුතුමෙක් අතර වෙන කතාවක් මේ ගීතයෙන් කියවෙනවා.
මේ ශිෂ්‍යයාවට ඇදුරුතුමා කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. ඒත් ඒ ආදරයට ඇදුරුතුමා යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ.

"බලා වැලපෙමි වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ"ඇයට මේ සිහිනය නෙලාගන්න බෑ.ඒක නිසා ඒ දිහා බලලා එයා වැලපෙනවා කියලා කියනවා.එතකොට ඇඳුරුතුමා කියන්නේ තමන් කෙරෙහි ඇති වෙච්චි ආලය හිත් මලින් දෝවනය කරලා දාන්න,ඔහුව අමතක කරන්න කියලා.ඔහු එහෙම කියන්නේ ඇයි කියලා කියන ඇයි කියලත් ඊළඟ පද පේලියෙන් බලමු.

පේරාදෙණිය සරසවියේ ආදර කතා හරිම ලස්සනයි. අත්අල්ලන් ඇවිදින්න,මද වැස්සේ තෙමි තෙමි ඉන්න සරසවි මාවත,හන්තාන මගේ ලස්සනම ලස්සන නැන් ගොඩක් තියෙනවා.ඉතින් මේ ශිෂ්‍යයාවටත් තියෙනවා සිහිනයක් ඒ වගේ ආදර කතාවක් ගොඩනඟාගන්න.හැබැයි ඒ ආදර කතාව ඇඳුරුතුමා එක්ක ගොඩනගාගන්න තමයි මේ ශිෂ්‍යාව පෙරුම් පුරන්නේ.ඒ නිසා ඇය කියනවා වැහි පබළු යට රඟමඬල මැද ඔබේ තුරුලේ ඉන්න ඕනි කියලා.
එතකොට මේ ඇදුරුතුමා මේ ශිෂ්‍යයාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න හේතුව කියනවා.ඒ තමයි " බිසෝ හැර ගිය ලසෝ රඟහල අමාවක අඳුරේ නොඑනු මැන ළදුනේ"මේකෙන් කියන්නේ මේ ඇදුරු තුමාගේ බිසව හැර ගිහිල්ලා.ඔහුගේ විවාහය අසාර්ථක වෙලා.මෙහිදී කවියා "ළසෝ රඟහල" කියන උපමා කරල තියෙන්නෙ,දුකින් තියන හදවත කියන්න,දැන් මේ හදවත තියෙන්නෙ දුකින් පිරිලා අඳුරු වෙලා,ඉතිං ඒ හදවතට එන්න එපා කියලා තමයි මේආදරයට කෝඩුකාර යුවතියට ඇදුරුතුමා කියන්නේ.

ඉන්පස්සේ මේ තරුණිය කියනවා "වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම්" මේ තරුණිය මෙතනින් කියන්නේ ගුරුතුමාගේ අමාවක වෙලා තියෙන හිතට පුන් සඳ පායනකං එයා බලාගෙන ඉන්නං කියලා.ඒ දවස එනකන් එයා ගුරු සිසු සම්බන්ධතාවය ම ඉන්නං කියලා තමයි මේ ගෑණුළමයා කියන්නේ.ඊටපස්සේ මේ ගුරුතුමා කියනවා,"සොඳුරු ඒ සද දියේ එන්නම් හිඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ"දවසක මගේ හිතේ තියෙන දුක් ගින්න නිවිලා හඳ පායපු දවසට අපිට මේ සම්බන්ධය සාර්ථක කරගන්න පුළුවන් වෙයි.එතකන් හන්තාන අරණේ හොඳින් ඉගෙනගන්න කියලා ගුරුතුමා කියනවා.

🔅මේ විදියට හරිම අපූරු විදිහට පද ගළපලා ලියපු ලස්සන ගීතයක් තමයි මේ හන්තාන සිහිනේ ගීතය.

හමුවෙන්නට සමුගන්නට

  පදරචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි සංගීතය - රොෂාන් ප්‍රනාන්දු  ගායනය - රොෂාන් ප්‍රනාන්දු  හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙ...